අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක, ඩබ්ලිව්වී, ආර්එස්පී*, වීඑස්වී, යූඑස්පී, එන්ඩීසී
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රි ලංකා නාවික හමුදාධිපති අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක මහතා අද්මිරාල් තනතුරට උසස් කිරීමට ප්‍රසාදය පළකර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදා 17 වෙනි නාවික හමුදාධිපති වන ඔහු 2011 ජනවාරි මස 15 වන දින සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි.
මාතෘ භූමියේ ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමීමේ මහඟු කාර්යභාරය අගයමින් සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා වශයෙන් අතිගරු ජනාධිපති උතුමාණන් විසින් 2009 ජූලි මස ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට උසස් කරන ලදී. ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කරන ලද අවසන් විජයග්‍රහණ යුධ මෙහෙයුමේදී අද්මිරාල් දිසානායක, ආඥාපති උතුරු නාවික පෙදෙස වශයෙන් උතුරු මුහුදේ පැවැති යුද මෙහෙයුම් වලදී පෙරමුණ ගෙන කටයුතු කර ඇත.
60 වසරක නාවික හමුදා ඉතිහාසය තුළ වැඩිම වර්ණ, ලාංඡන හා පදක්කම් පැළඳි නාවික නිලධාරියා වූ අද්මිරාල් දිසානායක එයට ඔබින ලෙස නාවික හමුදාවේ ඉහළම ධූරය වන නාවික හමුදාධිපති පදවියට පත් කර ඇත. 1995 වර්ෂයේ නාවික යාත්‍රාවලට එල්ල කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයේදී විනාශ වූ නෞකාවේ සිට දිවි ගලවා ගත් මොහු එහිදී තම දිවි නොතකා සහයකයාගේ ජීවිතයද ගලවා ගැනීම හේතුවෙන් ජීවත්ව සිටියදී නිර්භීතභාවය වෙනුවෙන් මෙතෙක් රණවිරුවෙකු ලබාගත් උසස්ම වීර සම්මානය වන “වීරෝධාර විභූෂණ” යන පදක්කමෙන්ද පිදුම් ලබා ඇත. මීට අමතරව දෙවරක් රණශූර පදක්කමෙන්ද, විශිෂ්ඨ සේවා විභූෂණය හා උත්තම සේවා පදක්කම ඇතුලුව තවත් පදක්කම් හා පළඳනා රාශියක් හිමිකර ගැනීමට සමත්වී ඇත. තවද, ඔහු තරු 5 කින් යුත් ප්‍රශංසාත්මක පළඳනාවක් ඇතුළුව පළඳනා 3 ක් හිමිකර ගෙන ඇත.
අද්මිරාල් දිසානායක 1977 ජුනි මස 01 වන දින ශිෂ්‍යයභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී ඉන්දියාවේ පවත්වනු ලබන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව හැදෑරීමට යාමට ප්‍රථම ඔහුගේ මූලික පුහුණුව ත්‍රිකුණාමලයේ කීර්තිමත් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථක ලෙස නිම කර ඇත. තරුණ නිලධාරියෙකු වශයෙන් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ පවත්වනු ලබන ජාත්‍යන්තර යුද මෙහෙයුම් පිළිබඳ පාඨමාලාවද හදාරා ඇත.
තරුණ නිලධාරියෙකු වශයෙන් 1984 වර්ෂයේ උතුරු ප්‍රදේශයේ කන්කසන්තුරේදී ත්‍රස්තවාදීන් සමඟ ඇතිවූ සටනින් ත්‍රස්තවාදීන් 19 දෙනෙකු සමඟ මුහුදු කොටි යාත්‍රා විනාශ කිරීම හේතුවෙන් නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සතුරු යාත්‍රාවක් විනාශ කල අද්විතීය වික්‍රමයේ ගෞරවය හිමි වන්නේ අද්මිරාල් දිසානායකටය. එමෙන්ම ප්‍රහාරක යාත්‍රා වල ඔහුගේ අණසක යටතේ සතුරු යාත්‍රා 30 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට හා අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරියා වශයෙන් 1996 හා 1997 වසර වලදී ත්‍රස්තවාදීන් හා බිහිසුනු මුහුදු සටන් වලින් විශාල ජයග්‍රහණයන් ලබාදීමට ඔහු සමත්වී ඇත.
ඔහුගේ සේවයෙන් වසර 15 කට අධික කාලයක් ක්‍රියාන්විත ප්‍රදේශවල සහ එයින් වසර 08 කට වඩා අධික කාලයක් නෞකා සහ යාත්‍රා වල මුහුදු සේවයේද යෙදී ඇත. අද්මිරාල් දිසානායක නාවික හමුදා මූලස්ථානය තුල අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සහ අධ්‍යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් සේවය කර ඇති අතර, දකුණු නාවික විධානය භාර අඥාපති වශයෙන්ද කටයුතු කර ඇත. ප්‍රථම අධ්‍යක්ෂ නාවික පරිපාලන, අධ්‍යක්ෂ නාවික පුද්ගල මෙන්ම අධ්‍යක්ෂ නාවික සුභසාධක වශයෙන්ද කටයුතු කර ඇත. එපමණක් නොව ආරක්ෂක සේවා ක්‍රිඩා මණ්ඩලයෙහි ලේකම් සහ නාවික හමුදාවේ ක්‍රිඩා මණ්ඩලයේ ලේකම් යන ප්‍රධාන ක්‍රීඩා පරිපාලන තනතුරුද හොබවා ඇත.
අද්මිරාල් දිසානායක ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරක්ෂක උපක්‍රම පිළිබඳව පළමු පෙල විශිෂ්ඨ සාමාර්ථයක් සහිතව දර්ශනසූරී උපාධිය ලබාගෙන ඇත. තවද, මොහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ යුද කළමණාකරණය පිළිබඳ ශ්‍රාස්ත්‍රපතිවරයෙකි. මීට අමතරව, ඇමරිකාවේ හවායි හි ආසියා පැසිපික් ආරක්ෂක අධ්‍යාපන කේන්ද්‍රයේ හා වොෂින්ටන්හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලා ලාභියෙකු වන අතර, එක්සත් රාජධානියෙහි නාවික ආයතනයේ සාමාජිකයෙකුද වන්නේය.
නවදිල්ලියෙහි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුර සඳහා 1998 සිට 2001 දක්වා පත්වූ මොහු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතරින් එම තනතුර සඳහා පත් වූ ප්‍රථම නිලධාරියා වශයෙන් ඉතිහාසයට එක්වන්නේය. ඉන්දියානු රජයෙන් යුධ උපකරණ මිළදී ගැනීම, “සයුර” නෞකාව මිළදී ගැනීම මෙන්ම අර්ධ වාර්ෂික මෙහෙයුම් විමර්ශන රැස්වීම් හා ජාත්‍යන්තර මුහුදු සීමා පිළිබඳ රැස්වීම් පැවැත්වීමට මූලික වී ඇති අතර, ශ්‍රි ලංකා නාවික හමුදා මූලස්ථානය හා ඉන්දියානු නාවික හමුදා මූලස්ථානය අතර අන්‍යේන්‍ය සහයෝගීතාව ඇති කිරීමට සෘජුවම දායක වී ඇත.
4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරමින් සිටියදී එම යාත්‍රා කණ්ඩායම ප්‍රබල ප්‍රහාරාත්මක කණ්ඩායමක් බවට පත්කිරීමට කටයුතු කල පළමු නිලධාරියාද විය. අද්මිරාල් දිසානායක වඩමාරච්චි, බලවේගය සහ රිවිරැස ආදී ජයග්‍රාහී ඒකාබද්ධ මෙහෙයුම් වලට ක්‍රියාකාරීව දායක වී ඇත. 1996 දී මුලතිව් ප්‍රදේශයට ගොඩබැසීමේ මෙහෙයුම ඇතුළු බොහෝ නාවික මෙහෙයුම් සඳහාද අණදීම සිදු කර ඇත.
අද්මිරාල් දිසානායක වීරත්වය, රාජකාරියට ඇති කැපවීම මෙන්ම විවිධ අංශවලට දැක්වූ දක්ෂතා වෙනුවෙන් නාවික හමුදාධිපතිවරුන් විසින් ප්‍රධානය කරනු ලබන ප්‍රශංසාත්මක හා සේවය ඇගයීමේ ලිපි වැඩිම ප්‍රමාණයක් හිමි කරගෙන ඇති නිලධාරියාද වේ. යුධ මෙහෙයුම්, යුධ කටයුතු සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම, ඉදිකිරීම්, පරිපාලන කළමණාකරණය පිළිබඳ තිබෙන හැකියාව, නිර්මාණශීලීත්වය, ජයග්‍රහනයන් සහ කලා කුසලතාවන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල දැක්වූ දක්ෂතා සහ පරිත්‍යාගශීලීව, අධිෂ්ඨානපූර්වකව සහ කැපවීමකින් යුතුව ජාතික මෙහෙවරක් උදෙසා තම රාජකාරීන් ඉටු කිරීම සම්බන්ධයෙන් ඔහු මේ අයුරින් ප්‍රශංසා සහ ඇගයීම්වලට ලක්වී ඇත.
අප රටේ ප්‍රවීණ කලාකරුවන් බිහිකල පවුලකින් පැවත එන අද්මිරාල් දිසානායක කුසලතා පිරි සාහිත්‍යයධරයෙකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙකු ලෙස කලා ලෝකයේ නමක් දිනා ගෙන ඇත. ඔහු 1983 වර්ෂයේදී නෙලුකා මෙනෙවිය සමඟ විවාහ වූ අතර, මධු සහ රුවනාර නම් වූ උපාධිධාරී දියණියකුගේ සහ පුතෙකුගෙන් සමන්විත වූ පවුලක භාග්‍යවන්ත පියෙකි.
අද්මිරාල් දිසානායක නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයෙන් සමස්ථ අධ්‍යාපනය ලබා ඇති අතර, මධ්‍ය මහා විද්‍යාල අතරින් බිහිවූ සන්නද්ධ සේවා පුද්ගලයින්ගෙන් ඉහළම ස්ථානයට පත්වූ ප්‍රථම සන්නද්ධ නිළධාරියා වේ. සන්නද්ධ සේවාවන් සඳහා වැඩිම දායකත්වයක් සපයා ඇති වයඹ පලාතෙන් ඉහළම ස්ථානයට පත්වූ ප්‍රථම සන්නද්ධ සේවා නිළධාරියාද මොහු වන්නේය.

