“පවුලක ඇති ආදරය සහ මිතුරන්ගෙන් ලබන අගය කිරීම ධනයට හා වරප්‍රසාද වලට වඩා වැදගත් වේ”

--චාර්ල්ස් කුරල්ට්--

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ, 12වන සභාපතිණිය වශයෙන් වැඩ භාර ගැනීමට ලැබීම මා ලද භාග්‍යයක් හා වරප්‍රසාදයක් කොට සලකමි. සැලකිය යුතු කාලයක සිට නාවික පවුල්වල සුභසාධනය නගා සිටුවීම සඳහා ඉමහත් දායකත්වයක් සේවා වනිතා ඒකකය මගින් ලබාදී ඇත. ඒ සඳහා නායකත්වය ලබාදුන් සේවා වනිතා සභාපතිණියන්ගේ කාර්යභාරය පිළිබඳව මෙහිදී සඳහන් කරනුයේ ඉතාමත් ගෞරවයෙනි. පසුගිය අවුරුදු කිහිපය තුළ නාවික හමුදා සේවා වනිතා ඒකකය ලබාගත් සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ, ඔවුන් විසින් කළ කැපකිරීම හා ඒකකයේ සාමාජිකාවන් විසින් ලබාදුන් සහයෝගය මතය. එබැවින්, මෙම ඒකකය අද පවත්නා තත්වයට ගෙන ඒමට වෙහෙස මහන්සි වූ සැමට මම නැවත වරක් ස්තූතිවන්ත වෙමි.

එවකට, ලුතිනන්වරයෙකුව සිටි රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ භාර්යාව ලෙස ත්‍රිකුණාමළ නාවික විවාහක නිවස්නයේ සිටිය දී මෙම සංවිධානයට ඇතුළත්වන ලෙස 1989 වසරේදී නැසීගිය අද්මිරාල් ආනන්ද සිල්වා මහතාගේ බිරිඳ වන එවකට සේවා වනිතා ඒකකයේ සභාපතිණිය වූ චිත්‍රා සිල්වා මහත්මිය මට ආරාධනා කළාය. ඒ වන විට නාවික පවුල් වල සුභසාධනය නගා සිටුවීම සඳහා සේවා වනිතා සාමාජිකාවන් විසින් කරන ලද සුවිසල් කාර්යභාරය මම දැන සිටියෙමි. අප, නාවික හමුදාව නම් වූ විශාල පවුලේ එක් කොටසකි. එම පවුලේ සාමාජිකාවන් වන අප සැමට පිළිගැනීමක් හා සාඩම්බර බවක් ඇත. එම අනන්‍යතාවය දුකේදී සහ සැපේදී අප, එකිනෙකා හා සමීප කරන ප්‍රධාන සාධකය වේ. අප විසින්, නාවික හමුදා සාමාජිකයින් හට දෙනු ලබන ධෛර්යය හා ශක්තිය ඔවුන්ගේ සාර්ථකත්වයට මනා ලෙස ඉවහල් වන අතර, එය සමස්ථ නාවික හමුදාවේ උන්නතියට ද හේතුවේ.

පෙර සඳහන් කළ පරිදි නාවික හමුදාවේ සුභසාධනය නගාසිටුවීම සඳහා සේවා වනිතා ඒකකය මගින් කළ කාර්යභාරය ඉතා ප්‍රශංසනීය වේ. සේවා වනිතා ඒකකය යටතේ තිබෙන සෑම ව්‍යාපෘතියක්ම ඉදිරියේදීත් එලෙසම පවත්වාගෙන යන බව මම ස්ථීරවම ප්‍රකාශ කර සිටිමි. මෙහිදී, සටනේදී මියගිය හා අතුරුදහන් වූ පවුල්වල සුභසාධනය නගාසිටුවීම මාගේ ප්‍රමුඛතම කාර්යභාරය වේ. ඒ අප අතර වැඩිම පීඩනයට ලක්වූවන් ඔවුන් වන බැවිනි. ජාතිය වෙනුවෙන් උත්තම කැපකිරීම් කළ රණවිරුවන්ගේ පවුල්වල යහපත හා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් අපගේ සහයෝගය සහ අවධානය නිරන්තරයෙන් ලබාදිය යුතුය. එමෙන්ම ජාතියේ අනාගතය භාරගැනීමට සිටින දරුවන්ගේ සුභසාධනය ද ඉතා වැදගත් බව මම සිතමි. විවිධ වැඩසටහන් තුළින් දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යයන් අතර ප්‍රධාන ස්ථානයක් ගනී.

දැනට පවතින සුභසාධන ව්‍යාපෘති වඩා සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමටත්, නව ව්‍යාපෘති ආරම්භ කිරීමටත් අවශ්‍ය නායකත්වය හා අධීක්ෂණය නොපිරිහෙලා ලබාදීමට මා හට ශක්තිය ඇති බව මම තරයේ විශ්වාස කරමි. ඉහත සඳහන් උදෘත පාඨයෙන් පැවසෙන පරිදි නාවික පවුලෙහි ද සාමාජිකයින් සතුටින් තැබීම සඳහා එකිනෙකාගේ ආදරය හා අගයකිරීම අවශ්‍ය වේ. එය ධනයට හා වරප්‍රසාද වලට වඩා වැදගත් වේ. අප සියළු දෙනා එක කණ්ඩායමක සාමාජිකයින් ලෙස එකිනෙකාට බැඳී සිටින විට අප ඉදිරියේ පවතින බාධක හා අභියෝග පහසුවෙන් ජයගත හැකිය.

සේවා වනිතා ඒකකයේ ඉදිරි කටයුතු වල සාර්ථකත්වය සඳහා අප සැවොම එකට අත්වැල් බැඳගනිමු.

යමුනා විජේගුණරත්න මහත්මිය
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය