සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්  රියර් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ, ඩබ්ඩබ්වී, ආර්ඩබ්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, ඒඕඩබ්සී වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව 2017 ඔක්තෝබර් මස 26 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කරන ලදී.

වයිස් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ 1982 නොවැම්බර් මස 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරියකු ලෙස තම නාවික ජීවිතය ආරම්භ කළේය. අනුරාධපුර ශාන්ත ජෝෂප් විද්‍යාලයේත් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේත් දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මොහු ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් තුළදී ලත්  මුලික නාවික පුහුණුව අවසානයේදී 11 වන බඳවා ගැනීමට අයත් විශිෂ්ඨතම ශිෂ්‍ය භට නිලධාරියා ලෙස නාවික හමුදා සේවයට එක්විය. අනතුරුව බ්‍රිතාන්‍යයේ ඩාර්ත්මත් හි පිහිටි රාජකීය නාවික හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සඳහා තෝරා ගන්නා ලද අතර, එහිදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා ‍හේතුවෙන් අනෙකුත් සියලු විදේශීය සිසුන් අභිබවා ප්‍රථම ස්ථානයට පත්වීමට ඔහු සුදුසුකම් ලැබීය. ඉන් අනතුරුව 1985 වර්ෂයේදී නාවික හමුදා සක්‍රීය සේවයට දායක වන මොහු ඉන්දියානු නාවික හමුදාව වෙතින් පුහුණුව ලද “ප්‍රති සබ්මැරීන් යුධ ශිල්පය” පිළිබදව විශේෂඥයෙකි. 1999 වර්ෂයේදී ඉන්දියාවේ ආරක්ෂක සේවා හා මාණ්ඩලික අධ්‍යාපන පීඨයෙන් මාණ්ඩලික පාඨමාලාව සාර්ථක ලෙස නිම කළ ‍මොහු පාඨමාලාව තුළදී ලබා ගන්නා ලද උසස් ප්‍රථිපල මත විද්‍යාපති උපාධියකින්ද පිදුම් ලැබීය. මෙයට අමතරව 2007 වර්ෂයේදී පකිස්තානයෙහි ඉස්ලාමාබාද්හි පිහිටි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙතින් යුධ ශිල්පය පිළිබදව විද්‍යාපති උපාධියද, 2012 වර්ෂයේදී ඉන්දියාවේ නවදිල්හි පිහිටි ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව පිළිබදව දර්ශනපති උපාධියද හිමිකර ගන්නා ලදි.

තම 35 වසරක සේවා කාලය තුළ ක්‍රියාන්විත ප්‍රදේශවල දිර්ඝ කාලයක් සේවය කොට ඇති මොහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ යාත්‍රා, නෞකා  සහ ආයතන වල අණභාර නිලධාරී වශයෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කොට ඇත. නාවික හමුදාවේ ප්‍රබලතම ප්‍රහාරක බලඝණය වු 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ලෙස 2002 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටු කළ මොහු ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදෙන ලද “සමුදුර” නෞකාවේ පළමු අණදෙන නිලධාරියාද විය. ඇමෙරිකාවේ සිට මෙම නෞකාව ශ්‍රී ලංකා‍ව වෙත සාර්ථකව යාත්‍රා කිරීම තුළින් ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ දීර්ඝතම සාගර තරණය සිදුකළ අණදෙන නිලධාරියා ලෙස මොහු නාවික ඉතිහාසයට එක්ව ඇත. මෙයට අමතරව 2008 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා නාවික මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මොහු ඒ හා සමගාමීව නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේත්, ක්ෂණික විහිදුම් යාත්‍රා බළඝණයේත් අධ්‍යක්ෂ ලෙස රාජකාරී කළේය.

තවද නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ නාවික අවි, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, නියෝජ්‍ය ආඥාපති දකුණු නාවික විධානය, ආඥාපති දකුණු විධානය, ආඥාපති බටහිර නාවික විධානය, අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ලෙසද ඉතා කාර්යක්ෂම ලෙස  තම සේවය නාවික හමුදා‍ව වෙත ලබාදී ඇත. මෙතුමා, නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් වීමට පෙර 2015 ජූලි මස 11 වන දින සිට 2017 ඔක්තෝබර් මස 25 වන දින දක්වා කාල සීමාව තුළ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී සිදු කරන ලදී.

සංග්‍රාමික කටයුතු සදහා දක්ෂ නිලධාරියෙකු වන වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ රණශුරත්වය වෙනුවෙන් ජීවත්ව සිටියදී පිරිනමනු ලබන ඉහළම සම්මානය වන වීර වික්‍රම විභූෂණ පදක්කමෙන් පිදුම් ලබා  ඇති අතර, මෙයට අමතරව ඔහුගේ රණශුරත්වය අගයමින් රණවික්‍රම පදක්කම ඇතුළු පදක්කම් ගණනාවකින් පිදුම් ලබා ඇත. තවද, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ලුතිනන් කොමාණ්ඩර් වරයෙකු ලෙස 1996 දී පී 491 යාත්‍රාවේ අණභාර නිලධාරී ලෙස රාජකාරී කළ සමයේ, සන්නද්ධ සේවා පුද්ගලයින් ප්‍රවාහන නෞකාවක් වූ එම්වී නගරෝමා නෞකාව කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගමන් කරන අතරතුරදී, එම නෞකාවට පහරදීමට පැමිණි මරාගෙන මැරෙන යාත්‍රාවක් ඉදිරියට ගොස් එහි පී 491 යාත්‍රාව ගැටීමට සලස්වා නගරෝමා නෞකාව තුළ ගමන් ගත් සන්නද්ධ සෙබලුන් ගණනාවකගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් නොබියව ඉදිරිපත්ව ඇත. එවන් වූ ක්‍රියාවක් සිදු කළ පළමු නිලධාරියා ලෙස නාවික ඉතිහාසයට එක්ව ඇත්තේ ද එතුමන්ය. ඔහු විසින් සිදුකරන ලද විශිෂ්ඨ වූ සේවය අගයනු වස් පිරිනමනු ලබන උත්තම සේවා පදක්කමින්ද මොහු පිදුම් ලබා ඇති අතර නාවික හමුදාධිපතිවරු තිදෙනෙකු විසින් මොහුගේ සේවය අගයමින් අවස්ථා කිහිපයකදීම ප්‍රසංශාත්මක ලිපි ගණනාවක් පිරිනමා ඇත.

දක්ෂ ක්‍රීඩකයෙකුද වන මොහු තම සේවා කාලය තුළදී බැඩ්මින්ටන් ක්‍රීඩාව සදහා රාජකීය නාවික හමුදා ඇකඩමියේ වර්ණ වලින් පිදුම් ලබා ඇති අතර, 1997 වර්ෂයේදී පැවති නාවික හමුදා බැඩ්මින්ටන් තරඟාවලියේදී කේවල යුගල සහ මිශ්‍ර යුගල තරඟ ඉසව් සඳහා සම්මාන ද හිමිකර ගෙන ඇත.

වයිස් අද්මිරාල් රණසිංහ මහතා, සන්ධ්‍යා රණසිංහ මහත්මිය සමග විවාහ වී සිටින අතර, මොවුන් දෙපළට සුපුනි රණසිංහ නම් දියණියක සිටී.