ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය

මහජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ප්‍රතිආශෘත ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපෘතිය එවකට නාවික හමුදාධිපතිගේ සංකල්පයකට අනුව 2015 වර්ෂයේදී අරඹන ලදී. නාවික හමුදා ප්‍රතිආශෘත ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපෘතිය, මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් පිටුදැකීම සඳහා සුදුසු ජාතික ව්‍යාපෘතියක් ලෙස එවකට අතිගරු ජනාධිපති තුමා විසින් පිළිගැනීමෙන් පසුව, මෙය ක්‍රියාවට නැංවීමේ සඳහා ජනාධිපති කාර්යය සාදක බලකායක් ස්ථාපනය කෙරිණි. පසුව, ජනාධිපති කාර්යය සාදක බලකාය වෙත පවරා තිබූ මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් පිටුදැකීමේ වගකීම 2019 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දින සිට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම සිදු කෙරිණි.

ප්‍රතිආශෘත ජල පිරිපහදු තාක්‍ෂණය ලොව පුරා සාර්ථක ජල පිරිපහදු ක්‍රමයක් බව ඔප්පු වී ඇති නමුත්, එම යන්ත්‍ර ආනයනය කර ස්ථාපනය කිරීම වෙනුවෙන් රටට විශාල මුල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන කටයුත්තක් විය. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන්, නාවික හමුදා පර්යේෂණ සහ සංවර්ධන ඒකකයේ ව්‍යාපෘතියක් ලෙස නාවික හමුදාධිපති ගේ උපදෙස් හා මඟපෙන්වීම මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දැරිය හැකි මිලකට ප්‍රතිආශෘත ජලපිරිපහදු යන්ත්‍රක් වැඩිදියුණු කර නිෂ්පාදනය කරන්නට විය.

දිවයින පුරා දිස්ත්‍රික්ක 13ක ව්‍යාප්තව ඇති උග‍්‍ර වකුගඩු රෝගයේ භයානක වර්ධනයට පිලියමක් ලෙස පිරිසිදු පානීය ජලය ලබාගැනීම තීරණාත්මක සාධකයක් විය. කෙසේ වෙතත්, විශේෂයෙන් අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ප්‍රජාවට පිරිසිදු ජලය ලබා ගැනීම විශාල අභියෝගයක් විය. මෙය බරපතල සමාජ ප්‍රශ්නයකට හේතුවූවා පමණක් නොව මෙම උග්‍ර වකුගඩු රෝගයේ පුළුල් ව්‍යාප්තිය ජීවිත අහිමිවීමට පවා හේතු විය.

2015 දෙසැම්බර් මස අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ කඩවත්රඹෑව ප්‍රදේශයේ නාවික හමුදාව විසින් ප්‍රථම ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව, දෙස් විදෙස් ආයෝජකයන්ගේ සහයෝගය ඇතිව පොදු මහජන පරිභෝජනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේවන විට ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 960 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව ස්ථාපානය කිරීමට කටයුතු කර ඇත. මීට අමතරව ස්වභාවික ආපදා වැනි හදිසි තත්වයන් හිදී මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් ජංගම ප්‍රතිආශෘත ජාල පිරිපහදු මධ්‍යස්තානයක් ද නාවික හමුදාව විසින් නිපදවීමට කටයුතු කර ඇත. තවද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වෛද්‍ය උපකරණ සංවර්ධන සංගමයේ දැඩි ප්‍රමිතීන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල් තුල වකුගඩු රෝග නිවාරණ ඒකකයන්ගේ භාවිතය හා ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍යවන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශෘත ජලපිරිපහදු යන්ත්‍ර 20කට අධික ප්‍රමාණයක් ද නාවික හමුදාව විසින් නිපදවා බෙදාහැරීමට කටයුතු කර ඇත. මාරාන්තික වකුගඩු රෝගය සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වාර්තාවන්ට අනුව, නාවික හමුදාවේ ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ආරම්ඹ කිරීමෙන් අනතුරුව වකුගඩු රෝගීන් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කරයි.

ro plant

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන නිපදවීමේ වැඩපල මඟින් එම යන්ත්‍ර නිපදවීම පමණක් නොව, ඊට අනුයුක්ත විශේෂ පුහුණුව ලත් තාක්ෂණික ශිල්පීන් හා අලුත්වැඩියා කණ්ඩායම් විසින් ස්ථාපනය කරන ලද ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන අලුත්වැඩියාව හා නඩත්තු කටයුතු සිදුකිරීමටද කටයුතු කරනු ලබයි.

වත්මන් රජය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පහජන සුබසිද්ධිය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාමට කැපවී සිටී. මෙම උදාර කර්තව්‍යයට දායක වීමට කැමති පුද්ගලයින් හට නාවික හමුදාව හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය වී ව්‍යාපෘතියේ වර්ධනයට ක්‍රියාකාරීව දායක විය හැකිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය මඟින් මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සහතික කරන අතරම, දැවෙන සමාජ ප්‍රශ්නයකට පවත්නා සම්පත් හා ශිල්පීය දැනුම උපයෝගී කරගනිමින් විසඳුම් සෙවීම සඳහා ඉතා හොඳ ආදර්ශයක් ගෙනදෙනු ලබයි.

ro plant 1
ro plant 2
ro plant 3
ro plant 4