Commander of the Sri Lanka Navy

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ආර්එස්පී**, යූඑස්පී, එන්ඩීයූ, පීඑස්සී වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස 2022 දෙසැම්බර් මස 18 වන දින පත් කරන ලදි.

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1987 වර්ෂයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 05 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් සහ නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කල ඔහු, එම බඳවාගැනීමේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකරගැනීමට සමත්විය. අනතුරුව, උප ලුතිනන් වරයෙකු වශයෙන් 1989 වර්ෂයේදී අධිකාරියට පත් වන ඔහු, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ආරක්ෂක අධ්‍යයන) ගෞරව උපාධිය ලබාගන්නා ලදී.

වැඩිදුර උසස් අධ්‍යාපනය හදාරමින්, ජාත්‍යන්තර සබඳතා පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව ජාත්‍යන්තර අධ්‍යයන පිලිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයෙන් සාර්ථකව හදාරණ ඔහු, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපයමාර්ගික අධ්‍යයනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නා ලදී. තවද, ඔහු ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර, වැඩිදුර වෘත්තීය නිපුණත්වය ලඟා කරගනිමින් කිමිදුම් නිෂ්කාශනය සම්බන්ධ විශේෂඥතාව ඉන්දීය නාවික හමුදා කිමිදුම් පාසල වෙතින් ද, සංග්‍රාමික මූලධර්ම පිලිබඳ පාඨමාලාව පාකිස්තානු නාවික හමුදාව වෙතින්ද ලබා ඇත. වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි නාවික සංග්‍රාමික විද්‍යාලයේ ආදි විද්‍යාර්තියෙක් වන අතර, ඔහු එම නාවික සංග්‍රාමික විද්‍යාලයේ නාවික මාණ්ඩලික පාසලෙන් අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇත. එමෙන්ම, චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් 2018 -2019 වර්ෂයේදී ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව සාර්ථකව හදාරන ඔහු වෙත, හමුදා විද්‍යාව හා උපාය මාර්ගික අධ්‍යයනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය එම විද්‍යාලය වෙතින් පිරිනමා ඇත.

කැපවීමෙන් හා වෘත්තීමය නිපුණතාවයෙන් යුත් කාර්යය කරවීම සඳහා සමර්ථ නායකයෙකු ලෙස කීර්තියක් ඇති ඔහු වසර තිස්පහකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශිෂ්ට සේවාවක් ඉටු කර ඇත. ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙන් ලද සුවිශාල අත්දැකීම් සම්භාරය තුලින් පොහොසත් වූ අතර, ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක බලඝනය වන 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ බලඝණ අණදෙන නිලධාරියෙකු ලෙස හා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායම් අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කරමින්, මෙරට පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් උච්චතම අවස්ථාවේදී මුහුදේ වික්‍රමාන්විතව සටන් කර නාවික හමුදාවට සටනේදී ජයග්‍රහණ ලබා දීමට දායක වී ඇත. එමෙන්ම ඔහු, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට නායකත්වය දුන් අණදෙන නිලධාරියෙකු වන අතර, නාවික හමුදා කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකය භාර නිලධාරි ලෙස කටයුතු කරමින් තීරණාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම් කිහිපයක් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. මුහුදු සේවා කාලය තුල වේග ප්‍රහාරක යාත්‍රා ගණනාවක අණභාර නිලධාරී ලෙස කටයුතු කර ඇති ඔහු, වේග අවි යාත්‍රා, ගොඩබෑමේ යාත්‍රා, වේග මගී යාත්‍රා සහ වේග මිසයිල යාත්‍රාවන්ට අණ දී ඇත. මුහුදු සේවා කාලය තුල ඔහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස අවසන් වරට කටයුතු කර ඇත.

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය සේවා කාලය තුළ ගොඩබිම් ආයතනයන්හි ප්‍රධාන පත්වීම් ගණනාවක් ලබා ඇත. ඒ අනුව ඔහු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්‍ෂ නාවික විදේශීය සහයෝගීතා, අධ්‍යක්‍ෂ නාවික විශේෂ බලකා, නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, දකුණු නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කර ඇත.

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සටනේදී සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණ සූර පදක්කම තෙවතාවක් ද, අගනා සේවය නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති අතර, ඔහුගේ දක්ෂතාවය කැපවීම සහ ආදර්ශමත් කාර්ය සාධනය ඇගයීම වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් අවස්ථා අටකදී (08) ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

ක්‍රීඩාව සඳහා ඔහුගේ දස්කම් පිහිනුම්, වෝටර් පෝලෝ, වින්ඩ්සර්ෆින්, කයාකිං සහ වේග බෝට්ටු පැදීම වැනි ජලජ ක්‍රීඩාවන්ගේ සිට බයිසිකල් පැදීම, වෙඩි තැබීම, ෆෙන්සින් සහ දුනු ශිල්පය වැනි ත්‍රාසජනක ක්‍රීඩා දක්වා ඉතා විවිධාකාර වේ. මුහුදු කයාක් මඟින් ශ්‍රී ලංකාව වටා ගිය ප්‍රථමයා ලෙස වාර්තාවකට හිමිකම් කියනු ලබන ඔහු, ශ්‍රී ලංකාවේ ඔරු පැදීමේ සහ කයාකිං පිළිබඳ ජාතික සංගමයේ හිටපු මහලේකම් වරයා ලෙස රට තුළ පැදි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වයි. ඔහු ජාත්‍යන්තර කැනෝ සම්මේලනයේ කැනෝ ස්ප්‍රින්ට් සහ ඩ්‍රැගන් බෝට් ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියෙකු වන අතර, ඔරු පැදීමේ පළමු මට්ටමේ පුහුණුකරුවෙකි.

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, මාලා ළමාහේවා මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් දෙපලට සචිත් (24) සහ ෂමාල් (21) යන පුතුන් දෙදෙනෙකු සිටියි.